බණඩාරගම අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබී පොලිස් භාරයට ගත් නයිට්‍රික් ඇසිඩ් සැකකරුවන් විසින් මිලදී ගනු ලැබ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ඇසිඩ් මිලදීගත් වෙළෙඳසල් දෙකකින් බවට මේ වනවිට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඒ බව අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් හෙළි කළ තොරතුරු අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කොළඹ හෙට්ටිවීදියේ පිහිටි එම වෙළෙඳසල් දෙකට ගොස් එම ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රකාශ ගැනීමේදී බව පොලිසිය සඳහන් කළේ. එම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පොලිසිය පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබාගත් බව ද පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අටළුගම මාරාව ප්‍රදේශයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහර දී පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමකදී නයිට්‍රික් ඇසිඩ් තොගය සැකකරුවන් දෙදෙනාගේ නිවෙස්වල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මීට සති දෙකකට පෙරත්, අනෙක් සැකකරු මාස දෙකකට පෙරත් මේවා මිලදී ගත් බවට එම වෙළෙඳසල් දෙකේ හිමිකරුවන් ප්‍රකාශ කර ඇත. නමුත් මේවා ගබඩා කර තැබීමට සැකකරුවන්ට බලපත්‍ර හෝ මිලදී ත් බවට රිසිට්පත් හෝ නොතිබූ බව පොලිසිය කියයි.
හෙට්ට්විදීයේ වෙළෙඳසල් දෙකේ ඇසිඩ් විකුණා ඇත්තේ කිසිදු වගකීමකින් නොවන බවත් බලපත්‍රයක් තිබේදැයි හෝ පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන් ඉල්ලූ පමණින් ඔවුන් ඒවා අලෙවි කිරීම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මිනිස් ජීවිත 300කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තවත් ජීවිත දහසකට ආසන්න සංඛ්‍යාවක් සදාකාලික ආබාධිත පුද්ගලයන්ගේ තත්ත්වයට පත්වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරකට අධික කාලයක් ගතවී ඇතත් මෙවැනි දෑ අලෙවි කිරීමේදී පිළිපැදිය යුතු නියමයන් පිළිබඳ එම ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ ද යන්න ගැන පසු විපරමක් කිරීමට වගකිව යුතු ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු නොවී ඇති බව මෙමගින් වඩාත් තහවුරු වන බව පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ.
ඇසිඩ් සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු පාස්කු දින ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාගේ පියා වන යූසුප් ඊබ්‍රාහිම් සමග 2017 වසරේදී සම්බන්ධතා පවත්වා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව ද උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ද මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
( ලංකාදීප)