පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්පුර්ණයෙන් තුරන් කරනවා – යුද හමුදාපති(PHOTOS)

September 13, 2020 at 3:51 AM

කොටි ත්‍රස්තවාදය සහ කෝවිඩ් – 19 වසංගතය පරාජය කළා සේම මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාල ජාවාරම යුද හමුදාව පොලිසියේද සහය ඇතිව සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාවේ විශේෂ බලකා විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී මෙය පැවැත්වුණා.

යුද හමුදාවේ විශේෂ බලකායට අයත් පනස් වැනි පාඨමාලාවේ විසිර යෑම මෙහිදී සිදු කෙරිණි දක්ෂතා දැක්වූ විශේෂ බළකා සෙබළුන් ඇගයීමට ලක් කිරීම ද මේ දී සිදුකෙරුණා.

එමෙන්ම යුද හමුදාපතිවරයා විසින් මෙම විශේෂ දක්ෂතා ඇති හමුදා කණ්ඩායමට නිල ලාංඡන පැළඳවීම ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවේදී යුද හමුදාපතිවරයා කියා සිටියේ නැවත මෙරට පාස්කු ප්‍රහාරය මෙන් ප්රහාර ඇති වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.

එමෙන්ම යුද හමුදාවේ විශේෂ බලකාය වෙත නව නිල ඇඳුමක් මෙදින හඳුන්වාදීම ද විශේෂත්වයක් වූ අතර යුද හමුදාපතිවරයා ඇතුළු වූ විශේෂ බලකායේ ජේෂ්ඨ නිලධාරින් අද දිනයේදී මුල් වරට එම හඳුන්වාදුන් නිල ඇඳුම පැළඳ ගෙන සිටීමද විශේෂත්වයක්.

ඒ පිළිබඳව අදහස් දැක්වූ හමුදාපතිවරයා කියා සිටියේ ලෝකයේ විශිෂ්ටම යුද හමුදාවක් සිටින අවස්ථාවක දක්ෂයන් ලෙස හඳුනාගෙන ඇති විශේෂ බලකායේ සෙබළ පිරිස සඳහා මෙම විශේෂ නිල ඇඳුම හඳුන්වාදීම තමාට ආඩම්බරයක් සහ අභිමානයක් බවයි.