2015 වසරේ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හසීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පළමු වරට අනාවරණය විය. ඒ, ඊට එක්වූ දේශපාලන නියෝජිතයකු කොමිසමේදී සාක්ෂි දුන් අවස්ථාවේදී ය.
ඊයේ(11) රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ 2015 වසරේදී මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයකුවන මොහොමඩ් මුස්තෆා අබ්දුල් රහ්මාන් නමැත්තා යි.
එහිදී සාක්ෂිකාර අබ්දුල් රහ්මාන් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් යන අය සමග අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර මාලාව දියත් කළ සහරාන් හසීම් සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටයක් කොමිසම හමුවේ දර්ශනය කෙරුණි.
එම වීඩියෝ පටයෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහ්මාන් රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ සහරාන් හසීම් සහ ඔහුගේ සොහොයුරු සෙයිනි මොහොමඩ් යන අයයි.
එම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කෙරිණි.
මෙම සාකච්ඡාවට අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට අරාබි රටකින් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හසීම් සහ ෂිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලා මහතාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවා ද යන්න සම්බන්ධයෙන් ඔවුන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.
මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ ෂිබ්ලි ෆාරුක් සමග සහරාන් හසීම්ව හමුවුණේ ඇයි ද යන්නයි.
එහිදී සාක්ෂිකරු පැවසුවේ මෙය සහරාන්ගේ කාර්යාලයේ පැවැත්වුණු දේශපාලනික සාකච්ඡාවක් බවත් තමාගේ මතකය අනුව 2015 මහ මැතිවරණයට සතියකට පමණ ඉහතදී එය සිදු වූ බවත්ය.