හෙරොයින් සමග හිමිනමක් වාරියපොළදී පොලිස් අත්අඩංගුවට

September 11, 2020 at 7:41 AM

වාරියපොළ පොලිසිය හෙරොයින් මි. ග්‍රෑ. 8950 ක් සමග හිමි නමක් ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා දින වාරියපොළ පොලිසියට ලද තොරතුරක් මත වාරියපොළ පොලිස් වසමේ හලාවත පාර, නාවින්න මාර්ගයේ දැහැන්නෑගම ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් සමග මෙම චීවරධාරියා සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය පවසයි.

අංක 523/1, ගල්හේන පුරාණ විහාරය, මගුලාගම, එප්පාවල, මුල් පන්සල වන අතර මාමනවැවේ ජනානන්ද හිමි නමින් පැවිදි වී ඇති සැකකරුවකු හෙරොයින් මි. ග්‍රෑම් 4950 සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ගිහි නම හේරත් මුදියන්සේලාගේ බුද්ධික ප්‍රසාද් සමන් කුමාරය.

මෙම හිමිනම කටුපොත පොලිස් වසමට අයත් දමණුව, අලංකාරේ සුමනසාර විහාරයේ වැඩ වෙසෙන බව, වැඩිදුර විමර්ශනයෙන් අනාවරණය විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතු බෑගයක් තුළ අඳනය, උඩ සිවුර, වටාපොත තිබී හමු වී ඇත. මෙම හිමිනම යම් යම් අවස්ථාවලට උචිත වන පරිදි පැවිදි ලෙස හා ගිහියකු ලෙස පෙනී සිට ඇති බවටද අනාවරණය විය.

අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ළඟ හෙරොයින් මි. ග්‍රෑම්. 350 ක්ද, අනෙක් සැකකරුවා ළඟ තිබී මි. ග්‍රෑ. 4150 ක්ද, චීවරධාරියා සතුව හෙරොයින් මි. ග්‍රෑ. 4950 ක්ද, අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වාරියපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාරියපොළ පොලිසිය පවසයි.

( අරුණ පුවත්පත )