19 ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු තියා ගන්න අවශ්‍යයි : ප්‍රේමලාල් ජයසේකරගේ නඩු තීන්දු දුන් විනිසුරුවරුන් පත් කලේ ව්‍යවස්ථා සභාවෙන් – ජනපති කියයි

September 10, 2020 at 8:04 PM

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට තමාගේ හෝ අගමැතිවරයා කිසිදු අයුරකින් බලපෑමක් එල්ල නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

“බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි.
අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේ ඒ ව්‍යවස්ථා සභාවමයි” මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර සිටියේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට පිළිතුරු දෙමින්.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව පවසා සිටියා.

“සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා.19වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” ජනාධිපතිතුමා පැහැදිලි කර සිටියා.