වයසට ගිය සිරකරුවන්ට නිදහස ලබාදීමට අවධානය

September 10, 2020 at 2:56 PM

වයස්ගත සිරකරුවන්ට නිදහස ලබාදීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ගේ අවධානය යොමුවී තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ අද වැලිකඩ බන්ධනාගාරයේ G වාට්ටුව හදිසි නිරීක්ෂණයට ලක් කරනු ලැබුවා. මෙහි රදවා සිටින රැදවියන් වයස අවු 76, 89, 90 වයස්වල පසුවන වයස්ගත අයවලුන් වන අතර මෙහි සිටින බහුතරයක් නොයෙක් ආබාධවලට ගොදුරුවූ අයවලුන් වෙති. මෙම පිරිස දැඩි දුෂ්කරතාවයෙන් සිටින අයවලුන් බැවින් මේ පිළිබදව රාජ්‍ය ඇමතිනියගේ විශේෂ අවධානයට යොමුවිය.

මෙහි රදවා සිටින රැදවියන් අතර වකුගඩු රෝගීන්, ඇස් නොපෙනෙන අයවලුන්, අංශභාග රොගීන්, පූර්ණ කාලීන ආබාධිතයින් හර්නියා ආබාධවලින් පෙළෙන අයවලුන් සිටින අතර ඔවුන්ට විශේෂ වෛද්‍ය අවශ්‍යතා ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත රාජ්‍ය ඇමතිනිය විසින් උපදෙස් ලබාදෙන ලදි. දැඩි රෝගී තත්වයෙන් පෙළෙන රැදවියන් දෙදෙනෙකු වහාම බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවන ලෙසද රාජ්‍ය ඇමතිනිය මෙහිදී උපදෙස් ලබාදී ඇත.

ඉන් අනතුරුව රාජ්‍ය ඇමතිනිය විසින් බන්ධනාගාරයේ චැපල් අංශය වෙත ගිය අතර එහි රදවා සිටින රැදවියන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය කටයුතු පිලිබදවද සොයා බැලීමකට ලක් කළා . ඔවුන්ගේ දුක්ගැනවිලි පිළිබදව සාවධානව අසා සිටි ඇමතිතුමිය සිදුකලහැකි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත උපදෙස් ලබාදෙන ලදි. බන්ධනාගාරයේ රැදවියන්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායම පුහුණුවීම් නිරීක්ෂණය කිරීමට රාජ්‍ය ඇමතිනිය කටයුතු කළා.