ඉකුත් අගෝස්තු මාසයේදී බේරූට් වරායේ සිදුවූ පිපිරිමෙන් විපතට පත් ලෙබනන් ජනතාවට බෙදා දීමට ශ්‍රී ලංකාවෙන් ලබා දුන් “තේ කොළ” හේතුවෙන් එරට ජනාධිපති Michel Aoun දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙන බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකා රජය විසින් පරිත්‍යාග කරන ලද එම තේ තොගය ලෙබනන් ජනාධිපතිවරයා විසින් සිය ආරක්ෂකයින්ගේ පවුල වලට බෙදා දුන් බවට වාර්තා වීමත් සමග ඔහුට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ලවී තිබෙනවා.
මෙම සිදුවීමත් සමග ලෙබනන් පාලකයින්ගේ දුෂිත භාවය යලිත් වතාවක් සනාථ වන බවයි එරටින් ලැබෙන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ලෙබනන් ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් ඉකුත් අගෝස්තු මස 24 වෙනිදා ජායාරූපයක් නිකුත් කරමින් කියා සිටියේ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ෂානි කරුණාරත්න විසන් තේ කොළ කිලෝග්‍රෑම් 1,675ක් ලබා දුන් බවයි.
පසුව ලෙබනන් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ජනාධිපති Michel Aoun විසින් ශ්‍රී ලංකාව ලබාදුන් අනුග්‍රහය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පුද කොට ලිපියක් යවමින් කියා ඇත්තේ ලබාදුන් තේ කොළ යුධ හමුදාවට සහ ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ පවුල් වලට ලබාදුන් බවයි.
බදාදා දිනයේදී ලෙබනන් ජනාධිපති කාර්යාලය ” ද නැෂනල්” වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එම තේ කොළ සිය ජනාධිපතිවරයාට ලැබූ පෞද්ගලික ත්‍යාගයක් බවයි. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් එම තේ කොළ බේරූට් පිපිරීමෙන් විපතට පත්වූ ජනාධිපති ආරක්ෂක ඒකකයේ සාමාජිකයින් ගේ පවුල් වලට ලබාදුන් බවයි.
මතුවූ ඇති තත්ත්වය මත ලෙබනනයේ සමාජ මාධ්‍ය ජාල තුල එරට ජනාධිපතිවරයාට එරෙහිව දැඩි විරෝධයක් පැන නැගී ඇති අතර #teathief #ceylontea යන හැෂ් ටැගයන් එරට සමාජ මාධ්‍ය තුල ඉහළ ප්‍රවනතාවයක් පෙන්නුම් කොට ඇත.
කෙසේ වෙතත් එල්ලවී ඇති විරෝධතාවයන් ගැන පිළිතුරු දෙමින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය සඳහන් කර සිටින්නේ ලෙබනන් ජනාධිපතිවරයාට එරෙහිව සිදුකෙරෙන චෝදනාවන් ලැජ්ජාවට කරුණක් වී ඇති බවයි.
” අපි මේ තේ කොළ පරිත්‍යාග කළේ ජනාධිපතිවරයාටයි. ඔහුට කැමති දෙයක් සිදුකරන්න ඉඩ තිබෙනවා. එම තේ කොළ ලැබෙන්නේ ලෙබනන් ජනතාවටයි. බලධාරීන්ට එරෙහිව එල්ලවෙන මෙවැනි චෝදනා නිසා මම බොහෝ විඩාවට පත්ව තිබෙනවා” යැයි ඇය ප්‍රකාශ කර සිටියා.