රුසියානු වෛද්‍ය විද්‍යාල 03කට පැනවූ තහනම නිසා ඉදිරියේදී ලංකාවෙන් තේ මිලදී ගැනීම හා සංචාරකයින් එවීම අත්හිටුවීමේ අවදානමක්

September 10, 2020 at 6:59 PM

මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් විශාල ගැටළු කිහිපයක්‌ ඉදිරියේදී ඇතිවීමේ අවධානමක් පැන නැගී තිබෙනවා.

ඒ අතර මෙරට උසස් පෙළ විභාගවලින් ඉහලම සුදුසුකම් ලබාසිටින සිසු සිසුවියන් 40කට රුසියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ තත්වයක් මතුව තිබීම ඉන් ප්‍රධාන තැනක් ගනු ලබනවා.

2020 ජුනි 26 වන දින පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභා රැස්වීමේදී මෙතෙක් අනුමැතිය ලබාදුන් විදේශීය වෛද්‍ය විද්‍යාල නාමාවලියෙන් පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙන රුසියානු විශ්වවිද්‍යාල සියල්ල ඉවත් කර ඇති හෙයින් මේ වර්ෂය සඳහා ද ඉන්පසුව ද ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වෛද්‍ය ශිෂ්‍යත්ව සියල්ල අහිමි වෙමින් පවතී.

අනුමැතිය ලබාදී ඇති එකම රුසියානු වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින් පූර්ණ වෛද්‍ය ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාවට ලබා නොදේ.

අනුමත ලේඛනයෙන් ඉවත් කර ඇති විශ්වවිද්‍යාල අතර අතීතයේ ලුමුම්බා (Lumumba) නමින් පැවති විශ්වවිද්‍යාලය ද වේ.

එම විශ්වවිද්‍යාලය වර්තමානයේ හැඳින්වෙන්නේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (Peoples’ Friendship University of Russia) නමිනි. ලෝක ශ්‍රේණිගත ලේඛනයේ 392 වැනි ස්ථානයේ මෙම විශ්වවිද්‍යාලය පවතී.

මොස්කව් හි අතිශයින් ජනප්‍රිය පහත සඳහන් විශ්වවිද්‍යාල දෙකක් වන Pirogov Russian National Research Medical University සහ Tver State Medical Univers යන විශ්ව විද්‍යාල ද
වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත්කර ඇත.

පවතින තත්ත්වය මත ඉදිරියේදී රුසියාව විසින් එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් සිතා බැලීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙන එනු ලැබූ යෝජනාවන් වලට එරෙහිව රුසියාව විසින් සිය අවස්ථා තුනකදී නිශේද බලය භාවිතා කරනු ලැබ තිබෙනවා.

මිට අමතරව පවතින තත්ත්වය මත ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවිමටද රුසියාවේ අවධානය යොමුවී ඇත. මෙරට තේ වෙළදපොලේ ප්‍රධානතම විදෙස් ගැණුම්කරුවෙක් වන රුසියාව එවැනි තීරණයක් ගතහොත් එය අපනයන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවීම වැළැක්විය නොහැකි කරුණක් වනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවට සිය රටේ සංචාරකයින් එවීම අත්හිටුවිමටද රුසියානු රජයේ අවධානය යොමුවී ඇති බව සඳහන්.