බුවනෙකබාහු රාජ සභාව කැඩීමේ නඩු ගාස්තු කුරුණෑගල නගර සභාවෙන් දැරීමේ යෝජනාව සම්මතයි : යෝජනාව ඉදිරිපත් කළේ එජාපයේ මන්ත්‍රීවරයෙක්

September 10, 2020 at 4:42 PM

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් නීතිමය කටයුතු සඳහා වැයවන ගාස්තු සභාව විසින් දැරිය යුතු බවට විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු විසින් අද පැවති කුරුණෑගල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ජන්ද 14 කින් සභා සම්මත විය.

කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂයේ (එජාප) මන්ත්‍රීවරයකු වන බුද්ධික ඇල්ලේපොළ එම යෝජනාව මන්ත්‍රී යෝජනාවක් ලෙස සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම යෝජනාවට පක්ෂව ආණ්ඩු පක්ෂයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජන්දය ලබාදුන්නා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුමේධ අරුණශාන්ත සහ විශාඛා අබේසිංහ යෝජනාවට විරුද්ධව ජන්දය දෙනු ලැබුවා. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද සභා රැස්වීමට සහභාගි වුයේ නැහැ.