ඥාණසාර හිමිගේ සාක්කිය හොරෙන් වීඩියෝ කළ උලමා සංවිධානයේ වැඩබලන ලේකම්

September 10, 2020 at 6:17 AM

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (9 වැනිදා) සාක්ෂි ලබාදීමේදී අනවසරයෙන් පටිගතකරමින් සිටි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයකු එම කොමිසමෙන් ඉවත් කිරීමට ජනාධිපති කොමිසමේ පොලිස් එකකය පියවර ගෙන තිබෙනවා.

දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමට බාහිර පුද්ගලයන්ට දුරකථන රැගෙන යාම සපුරා තහනම් වන පසුබිමක මෙම පුද්ගලයා දුරකතනය රැගෙන ගොස් ඇත්තේ නීතිඥවරයෙකු මාර්ගයෙන් බව කොමිසමේ පොලිස් එකකය සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ පස්වරුවේ පෙනී සිටියා.

ඒ උන්වහන්සේ මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ ලබාදී තිබූ සාක්ෂියට අදාළව හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය, මුස්ලිම් සංවිධාන ඇතුළු පාර්ශව 10ක් ජනාධිපති කොමිසමෙන් කර තිබූ ඉල්ලීමකට අනුවයි.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ආරම්භ වී පැය 2ක පමණ කාලයක් ගතවන විට ජනාධිපති කොමිසමේ පොලිස් එකකයේ නිලධාරින් කොමිසම් සභාව ඇතුළත රැඳී සිටි පුද්ගලයකු සැකකටයුතු ක්‍රියාවක යෙදී සිටීම හේතුවෙන් පිටතට ගනු ලැබීය.

එහිදී අදාළ පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වූයේ එම තැනැත්තා අද දින කොමිසම සභාව තුළ සිදුවූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂි විමසීම අනවසරෙන් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවයි.

එම පටිගත කිරීම සිදුකර ඇත්තේ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙකු වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මුර්ෂිඩ් නම් තැනැත්තා වන අතර ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් ජනාධිපති කොමිසම් සභා පරිශ්‍රයට සිය ජංගම දුරකතනය ගෙනගොස් මෙම පටිගත කිරීම සිදුකර ඇති බව කොමිසමේ පොලිස් එකකය පැවසුවේ.

පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් දැනුවත් කිරීම සිදු කෙරුණා.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කළ අතර පටිගත කිරීම සිදුකළ පුද්ගලයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ජනාධිපති කොමිසමෙන් පොලිස් ඒකකයට නියෝග කළේ.