හදාගත් බලු සුරතලුන් තිදෙනාව බලා ගන්නැයි කියා බොලිවුඩ් නළු සුෂාන්ත් සිය මරණයට පෙර මුරකරුට මුදල් ගෙවයි

September 8, 2020 at 11:42 AM

පසුගියදා සියදිනවි නසාගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඇතිදැඩි කළ බව කියන බල්ලන් තිදෙනා ඔහුගේ මරණින් පසු අසරණවීම සම්බන්ධ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මරණයට දිනකට පෙර සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ලොනවල ගොවිපොළේ භාරකරු හට සිය බල්ලන් තිදෙනා රැකබලා ගැනීම සඳහා ඔහු විසින් මුදල් ගෙවා ඇත. මේ හේතුවෙන් ගොවිපොළේ අයිතිකරු නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ රොට්වයලර් පැටවුන් තිදෙනා හදාවඩා ගැනීමට සූදානම් බවද පවසා ඇත.

අමර්, අක්බාර් සහ ඇන්තනි ලෙස නම් කරන ලද මෙම සුනඛයන් ඔහුගේ ලෝනවල ගොවිපොළේදී රැකබලා ගනු ලැබ ඇති අතර දිගටම එම කාර්යය එහිදී සිදුවනු ඇත. එහි භාරකරු රයිස් පැවසා ඇත්තේ ජුනි 14 වන දින මිය යාමට දිනකට පෙර සුෂාන්ත් සුනඛයින්ගේ රැකවරණය සඳහා තම ගිණුමට මුදල් මාරු කර ඇති බවත් ජුනි 14 දා දහවල් රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා වල සුෂාන්ත්ගේ සියදිවි නසාගැනීම පිළිබඳව ආරංචි වූ මුලදී තමාට එය විශ්වාස කිරීමට පවා නොහැකි වූ බවයි.

සුෂාන්ත් මෙම ගොවිපොළ කුලියට ගෙන ඇති නමුත් එය මිලදී ගැනීමටද ඔහු සිය කැමැත්ත පළ කළ බවද රයිස් පැවසීය. එමෙන්ම 2020 මැයි මාසයේදී මේ සම්බන්ධයෙන් වන ගිවිසුම කල් ඉකුත්වී තිබුණද, සුෂාන්ත් සිං ජුනි සහ ජූලි මාස සඳහා ද අත්තිකාරම් ගෙවා ඇති බව අනාවරණය වී ඇත.