වලංගු හෝ කල් ඉකුත්වූ වීසා හිමි ලාංකික ශ්‍රමිකයින්ට ගාස්තුවක් නොමැතිව සෞදියෙන් පිටවෙන්න අවසර

September 7, 2020 at 11:57 PM

වීසා වලංගු කාල සීමාව තුළ දී කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සවුදි අරාබි රාජධානියෙන් පිටවීමට නොහැකි වූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකුට පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය කිරීමෙන් තොරව ගුවන් තොටුපළවල විගමන ස්ථාන හරහා එරටින් පිටවීමට අවසර දීම සඳහා සවුදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

මෙය කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් එම රජය විසින් ගනු ලැබූ තාවකාලික පියවරක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

සවුදි අරාබි රජය විසින් ගන්නා ලද මෙම තීරණය මඟින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සැලකිය යුතු සහනයක් ලැබේ. මෙම තීරණය දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රතිඵලයක්.

කොවිඩ්-19 ගෝලීය වසංගත සමය තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වූ සුභසාධන ක්‍රියාමාර්ගවලට පහසුකම් සැපයීමට ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳව සවුදි අරාබි රජයට කෘතඥතාව පළ කිරීමට ශ්‍රී ලංකා රජය මෙම අවස්ථාව යොදා ගන්නා බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.