වනාතවිල්ලුවේ වන සංහාරය (PHOTOS)

September 7, 2020 at 3:46 PM

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ධාශයට අයත් එළුවන්කුලම මංගලපුර ග්‍රාම නිලධාරී කොට්ධාශයේන් පිහිටි අක්කර සියයකට වැඩි භුමි භාගයක ගස් දහසකට වැඩි ප්‍රමාණයක් කපා දමා ගිනි තබා තිබෙනවා.

මේ පරිසර විනාශය මෙලෙස සිදුකර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක වන අතර එම භුමිය අක්කර සියයකට වැඩි බව වාර්තා වන්නේ.

මිට වසර කීපයකට පමණ පෙර මේ අක්කර පන්දහාසක් පමණ වන මේ ඉඩම වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ලංකා සිමෙන්ති සංස්ථාවට බදු දී ඇති අතර ඔවුන් විසින් තවත් පෞද්ගලික ආයතනයකට මේ ඉඩම බදු දී තිබේ.

මෙලෙස කපා දමා ඇති විශාල ගස් ප්‍රමාණය දහසකට වැඩි අතර එසේ කපා දැමු ගස් ගිනි තබා ඇති අයුරුද දක්නට ලැබේ. මෙලෙස කපා දැමු ගස් අතර පලු ,වීර ,මාදං ,තේකක් ඇතුළු වටිනා ගස් වර්ග රැසකි.

මෙලෙස කපාදමා ගිනි තබා ඇති ඇතැම් ගස් වට අඩි හත අට ඉක්මවන වසර හාර පන්සියයක් පැරණි ගස් වන බවද පරිසර සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන ලදී.

ඊයේ දහවල් මේ ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා පරිසර සංවිධාන , සිමෙන්ති සංස්ථාවේ නිලධාරීන් හා හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පැමිණි අතර සියලු දෙනා මේ විනාශය හෙලා දැක කතා කරන ලදී.

මෙසේ එලි කරන ලද ප්‍රදේශයේ නිවාස කීපයක්ද ඉදිකර ඇති අයුරු දක්නට ලැබිණි. මිට අමතරව බැකෝ යන්ත්‍ර
යොදා ගනිමින් කැණීම් කීපයක් කර ඇති අයුරුද දක්නට ලැබිණි .

මේ බැකෝ යන්ත්‍ර ඊයේ දහවල් වන විට මේ භූමියෙන් ඉවත් කර ගැනීමටද පියවර ගෙන තිබිණි .

මෙහිදී වයඹ හඩ පරිසර සංවිධානයේ සම්බන්ධිකාරක අජිත් ගිහාන් ප්‍රකාශ කලේ මේ විනාශය ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම පරිසර විනාශය බවයි.

” අද වන විට පුත්තලමේ විශාල පරිසර විනාශයක් වෙනවා . මේ විනාශය පටන් ගත්තේ මේ මැතිවරණයෙන් පස්සේ ආනවිලුන්දාවට අත තියලයි. ඊට පසු ස්ථාන කීපයකින්ම පරිසර විනාශයන්
පිලිබදව වාර්තා වුනා. මේ පරිසර විනාශය සුළු පටු නැහැ.ලොකු කුඩා සියලු ගස් කපා දමා ගිනි තබා තිබෙනවා. මේ පිලිබදව නිතිය ක්‍රියාත්මක කල යුතුයි. මම දන්නා විදිහට විල්පත්තුවේවත් මෙතරම් විනාශයක් සිදු වුනේ නැහැ. මේ ඉඩම් බදු ගත්තු ආයතන වලටත් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරිනුත් මේ සදහා වගකිව යුතුයි.

මේ පිලිබදව සොයා බැලීම සදහා පැමිණි ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක ප්‍රකාශ කලේ මේ ඉඩම මේ වන විට තම ආයතනය විසින් පෞද්ගලික
සමාගමකට බදු දී ඇති බවයි. මෙතරම් විනාශයක් සිදුවන තෙක් මේ ප්‍රදේශයේ කිසිදු නිලධාරියෙක් මේ බව නොදැන සිටීම පුදුමයට කරුණක් බව ප්‍රකාශ කර සිටියා.

ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක මේ පිලිබදව වනාතවිල්ලුව පොලිසියටද පැමිණිල්ලක් කර ඇත.

මේ පිලිබදව කල විමසීමේදී වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම නිලධාරියෙකු කියා සිටියේ මේ වගකීම ඇත්තේ ලංකා සිමෙන්ති සංස්ථාවට බවයි.