පාසල් යන අවුරුදු දොළහ-දහතුන වයස් කාණ්ඩවල පිරිමි දරුවන් විසිදෙනකු පමණ අයිස්ක්‍රීම්, බනිස් හා මුදල් දී අපයෝජනය කර ඇතැයි චෝදනාවට අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි වෙළෙඳසල් හිමියකු රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා ඊයේ නියෝග කරනු ලැබුවා.
ගාල්ල, බටදුව සුමනතිස්ස මාවතේ වෙළෙඳසල් හිමියකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගාල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී ඇත.
මෙම විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයා විසින් වසර දෙකක් තිස්සේ පාසල් සිසුන්ව රවටා අපයෝජනය කර ඇති බවය. ඊයේ වනවිට අපයෝජනයට ලක්වූ දරුවන් දෙදෙනකු වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇත.
විවාහක දියණියන් තිදෙනකු සිටින සැකකරු තනිවම වෙළෙඳසලේ ජීවත්වී ඇත. බටදුව ගමට පිහිටි එකම වෙළෙඳසල වන මෙයට දරුවන්ව දෙමාපියන් වෙළෙඳසලට එවූ විට ඔහු අයිස්ක්‍රීම්, බනිස් හා මුදල්දී වෙළෙඳසල තුළදීම අපයෝජනය කර ඇත.
ඇතැම් අවස්ථාවල සැකකරුගේ එළවළු කොරටු හා කුඹුරුවල සරුංගල් යැවීමට බව කියා දරුවන් රැගෙන ගොස් අපයෝජනය කර ඇතැයිද දරුවන්ගෙන් හෙළිව තිබේ. සිද්ධිය සැලවූ පාසල් ගුරුවරියක මේ බව විදුහල්පතිනියට පවසා ඇත.