ගංජා වගාව ගැන වෛද්‍ය සංගමය කරුණු රැස් කරයි : අද විශේෂ දුරකථන අංකයකුත් හඳුන්වා දෙන්න සුදානම්

September 7, 2020 at 11:04 AM

ගංජා‍ වගා කිරීම තුළින් රටට ආදායමක් ලැබෙන බවට සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙන නිසා ඒ පිළිබඳ සොයා බැලීමට හා පවතින නීතිමය තත්ත්වය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

විශේෂඥ වෛද්‍ය තනුජ මහේෂ්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කොට ඇති බවත් කමිටුව විසින් ලංකාවේ නීතිරීති හා ලෝකයේ තත්ත්වය පිළිබඳ හා ලංකාව තුළ සිදුවන කතාබහ පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ තම සංගමයට වාර්තාවක් ලබාදීමට නියමිතව තිබෙන බවත් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටියි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ගංජා දුම්පානය කිරීම ස්නායු අඩපණ කිරීමට බලපාන බවත් අයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ එය ඖෂධයක් ලෙස භාවිත කරන බව ඔහු සඳහන් කර සිටියි.

අයුර්වේදයේ ඖෂධයක් ලෙස ගංජා භාවිත කරන නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට වගා කිරීමට අවසර ලබාදුන්නද, ගංජා වගා කිරීම රට තුළ තහනම් කර තිබෙන බවත්, එහෙත් ලෝකයේ ඇතැම් රටවල් ගංජා වගා කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටියි.

රටට ආදායමක් ලබාගැනීමට ගංජා වගා කළ යුතු බවට රට තුළ කතාබහක් ඇති වී තිබෙන නිසා පත් කළ කමිටුවට ජනතා අදහස් ලබාගැනීම සඳහා අද දිනයේදී දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම සැලසුම් කර තිබෙන බවත් මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට අද දින තම සංගමයේ විධායක සභාවට රැස්වන බැවින් එහිදී දුරකථන අංකය පිළිබඳ තීරණයක් ගන්නා බවයි වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.