ගිනි ගන්නා නෞකාවේ මිටර් දෙකක පැල්මක් : මුහුදට තෙල් කාන්දු වුවහොත් අවශ්‍ය පිළියම් යෙදීමට පරිසර අමාත්‍යාංශය සීරුවෙන් (PHOTOS)

September 4, 2020 at 1:14 PM

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාවේ මිටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කලේ නෞකාවේ සේවකයින් ගේ විවේකාගාරය ආශ්‍රිතව පැතිර ගිය ගින්න මැඩපැවැත්වීමට ඔවුන්ට හැකිවූ බවයි.

කෙසේ වුවත් නෞකාවේ එන්ජින් කාමරය සහ පසුපස කොටසේ ගින්න මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ වන විටත් මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.

මේ අතර නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසරඅමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කර සිටිනවා.

දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.