බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 270,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් එයින් මෙරට උතුරු සහ නැගෙනහිර මුහුදු කලාපයට දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටිනවා. ඔහු සඳහන් කළේ මෙම නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන අතර ඩිසල් ද ඇති බැවින් ගින්න සිඝ්‍රයෙන් ව්‍යාප්ත වුවහොත් එය පුපුරා යාමකට පවා ලක්විය හැකි බවයි.
මේ වන විට නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩලීම සඳහා නාවික හමුදාවේ නෞකා තුනක්, ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ නෞකාවක් සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් යොදවා ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ අද (03) රාත්‍රී කාලය වන විට ගිනි නිවීමේ උපකරණ ඇති ටග් යාත්‍රා දෙකක් ද හම්බන්තොට වාරයේ සිට එම ස්ථානයට ලඟා වීමට නියමිතව ඇති බවයි. ඊට අමතරව තවත් ඉන්දීය වෙරළ ආරක්ෂක නෞකා දෙකක් ද අද රාත්‍රිය වන විට මෙම මෙහෙයුම සඳහා එක්වීමේ අරමුණින් මේ වන විටත් ඉන්දියාවේ සිට යාත්‍රා කිරීම ආරම්භ කර ඇත.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සපයමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ මේ නෞකාව පැයකට නාවික සැතපුම් 0.7 ක වේගයෙන් ගොඩබිම දෙසට පාවෙමින් තිබෙන බවයි. ගින්න හට ගැනීමත් සමග නෞකාවේ සිටි කපිතාන්වරයා එහි එන්ජින් අක්‍රිය කොට ඇති බවත් ඒ හේතුවෙන් නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් ගොඩබිම දෙසට පාවෙමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම නෞකාවේ හටගෙන තිබෙන ගින්නත් සමග එය පුපුරා ගියහොත් ඉන් ඇතිවිය හැකි පරිසර හානිය මෙන්ම විෂ දුම් හේතුවෙන් ප්‍රදේශයේ ධිවර ජනතාවට එල්ලවිය හැකි බාධාවන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කොට ඇති බවත් අදාළ පාර්ශව සහ රජයේ ආයතන සමග ඒ ගැන දිගින් දිගටම සාකච්ජා පවත්වමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මෙම නෞකාවෙන් යම් හෙයකින් ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් ඒවා එකතු කිරීමට කටයුතු නොකරන ලෙසද ඔහු මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.