ඉහළ යන කොවිඩ්-19 වසංගතය හමුවේ මුහුදු සීමාව හරහා අනවසර සංක්‍රමණිකයින් ඒම වැළැක්වීමට ගුවන් නිරීක්ෂණ වැඩි කෙරේ

September 3, 2020 at 12:10 PM

දකුණු ආසියානු කලාපයේ ඇතිවී තිබෙන කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ජාත්‍යන්තර මුහුදු සීමාවා හරහා සිදුකරනු ලබන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මුහුදු මාර්ග හරහා සිදුකරනු ලබන නීතිවිරෝධී සංක‍්‍රමණ කටයුතු හඳුනාගැනීම සඳහා ගුවන් හමුදාව විසින් සිදුකරන ලබන නිරීක්‍ෂණ මෙහෙයුම් වැඩි කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිවා කාලයේ සහ රාත‍්‍රී කාලයේදී සතියක් තුළ සිදු කරනු ලබන නිරීක්‍ෂණ මෙහෙයුම් ප‍්‍රමාණය වැඩිකරමින් නිරීක්‍ෂණය කිරීමේ කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් අංක 8 සැහැල්ලූ ප‍්‍රවාහන බලඝණයේ සහ අංක 3 සමුද්‍රීය බලඝණයේ පිළිවෙලින් වයි-12 සහ බීච් කිංග් ගුවන් යානා සහ අංක 7 බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටර් යානා භාවිතා කළ බවයි ගුවන් හමුදාව පැවසුවේ.

මෙම මෙහයුම් වලට අමතරව සිදුකරන ලද ඉල්ලීම් වලට අනුව ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුහුදු මායිම් සීමාවන් තුල ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ අනෙකුත් පාර්ශවයන් විසින්ද අමතර නිරීක්‍ෂණ මෙහෙයුම් දියත් කළ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.