චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වුණා – දුම්රිය එන්ජින් රියදුරන්

September 1, 2020 at 1:41 PM

චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසා සිටියේ, තිරිංග පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අවස්ථා ගණනකදීම මෙම ගැටලුව බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද, ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දැක්වීමට මේ දක්වාත් අපොහොසත් වී ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

2010 වසරේ සිට චීනයේ සිට ගෙන්වූ දුම්රිය මැදිරි හේතුවෙන් ඇතිවූ විවිධ ගැටළු හා අනතුරු 200ක් සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය තිරිංග ක්‍රියා විරහිත වීම, දුම්රිය පිළි පැනීම සහ දුම්රිය නියමිත වේලාවට නැවැත්වීමට අපොහොසත් වීම වැනි සිදුවීම් මේ අතර ඇති බව ඔහු සඳහන් කළා.

චීන දුම්රිය මැදිරි සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහතික කිරීම් නොතකා එන්ජින් රියදුරන්ට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් ගොනු කර ඇති බවත් එහි ප්‍රථිපලයක් ලෙස දුම්රිය එන්ජින් රියදුරන් වැරදි චීන මැදිරි සහිත මෙහෙයුම් දුම්රිය වලින් ඉවත් වීමට තීරණය කළ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.