ආනයන සීමා ඉවත් කළ නොහැකියි. වෙළෙඳ පොළ තත්ත්වය සතිපතා දැනුම් දෙන්න. -ජනපති

August 31, 2020 at 5:10 PM

ඉදිරියට තැබූ පියවර පිටුපසට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර, ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි

දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් අතර මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා.

කෙටි කාලීන අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපතිතුමා කියා සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදියි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීම අසීරු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයන් මුහුණපාන ගැටළු සඳහා විසඳුම් දීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා.

ගොවි අස්වැන්න සහන මිලකට සෘජුව පාරිභෝගිකයා වෙතම ලබාදීමෙන් අතරමැදියන්ගෙන් සූරාකෑම වළක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළා.

ඒ සඳහා සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවලද සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

සතියකට වතාවක් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව තමාව දැනුවත් කරන ලෙසද ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කවුපි , උඳු, රට කජු, තල, කුරක්කන් සහ ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය අවශ්‍ය නොවන බවද නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.