නිරෝදායනය අතර මගදී පැන ගිය 80 හැවිරිදි කතගේ PCR වාර්තාව එයි

August 30, 2020 at 5:34 PM

නිරෝධායනයට ලක්කර සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය 80 හැවිරිදි කාන්තාවට කොරෝනා වෛසරය ආසාදනය වී නොමැති බව පරික්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

ඉකුත්දා මෙලෙස එම රෝහලෙන් පළාගොස් තිබුණේ ඕස්ටේ‍්‍රලියාවේ සිට මෙරටට පැමිණ බේරුවල ප‍්‍රදේශයේ හෝටලයක නිරෝධායන කටයුතු සදහා යොමුකර සිටි කාන්තාවක්. ඇය මානසික රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව ඉකුත් 28 වැනිදා අලූයම රෝහලෙන් පළාගොස් ඇති බවට අනාවරණය වුයේ රෝහලේ හෙදියක් එම කාන්තාවට බෙහෙත් ලබාදීමට ගිය අවස්ථාවේදීයි.

රෝහලෙන් පැන ගිය මෙම කාන්තාව කළුතර ප‍්‍රදේශයේ සිට කෑගල්ල ප‍්‍රදේශයට බස් රථයකින් පැමිණ තිබෙනවා. මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් එම ස්ථානයට පැමිණ ඇයව සිය භාරයට ගෙන ඇති අතර පසුව ඇයව අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබුණා.

පසුව සිදුකෙරුණු PCR පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනයවී නොමැති බව තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.