මෝටර් රථ අලෙවිකරුවන් අත ඇත්තේ ඉදිරි මාස හයකට සෑහෙන වාහන සංඛ්‍යාවක් පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග සඳහන් කර සිටිනවා.
ඉකුත් මාර්තු මස 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය තීරණය කළ පසු ඇති වූ වාහන හිඟයත් සමඟ ලියාපදිංචි නොකළ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ඒ අනුව, ලියාපදිංචි කළ වාහන මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කර සිටියේ.
මෝටර් රථ තුන්දහසත් හාරදහසත් අතර සංඛ්‍යාවක් මසකට වරක් මෙරටට සාමාන්‍යයෙන් ආනයනය කරන බවත් මෝටර් රථ ආනයනකරුවන් සතුව සංචිත ලෙස මෝටර් රථ 10,000-15,000 ත් අතර සංඛ්‍යාවක් තිබූ බවයි ඔහු සඳහන් කළේ.
නමුත් මාර්තු මස 19 වැනිදා සිට වාහන ආනයනය නතර කිරීම නිසා ඉදිරි මාස හයෙන් පසුව වාහන මෙරට වෙළෙඳපොළ තුළ නොමැති වීමට ඉඩ ඇති බවයි ඔහු සඳහන් කළේ.
මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කිරීමට ගත් තීරණය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් යම්කිසි නියාමනයකට යටත්ව මෝටර් රථ ගෙන්වීමේ සැලසුමක් සැකසීම ඉතා වැදගත් බවත්, මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා තවදුරටත් සඳහන් කර සිටියා.