හිටපු ජනපතිගෙන් පැය 09 ක් ප්‍රකාශ ගනියි

August 27, 2020 at 7:04 AM

පැය 09 ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොළඹ, පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියේ අද පෙරවරුවේදීයි.

උදෑසන 09. 15 ට පමණ එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් තුන්දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණ තිබුණා. ඔවුන් අද පස්වරුව දක්වාම අදාළ ප්‍රකාශයන් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ලබාගැනීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙන ලෙස එම ප්‍රකාශයක් කොමිසම පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර තිබුණා.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කොමිසමට දන්වා තිබුණේ තමන්ට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවයි. සිය නිවසට පැමිණ අදාළ ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසයි හිටපු ජනාධිපතිවරයා එම පොලිස් ඒකකයට වැඩිදුරටත් දැනුම් දී තිබුණේ.