ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීම වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතුයි – ඇමති නාමල් රාජපක්ෂ

August 27, 2020 at 7:58 PM

ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මකව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණා.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, කායිකව හා මානසික ව සංවර්ධනය වූ නිරෝගී දරු පරපුරක් ගොඩනැංවීමේ දී පාසල් තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ සඳහා දැනට සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි පවත්නා ක්‍රීඩා පාසල්වල භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට පියවර ගත යුතු බවත් සඳහන් කළා.

එමෙන් ම ක්‍රීඩාව කෙරෙහි දරුවන් නැඹුරු කරවිමට හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික හා ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට ද වැඩපිළිවෙළක් සකස් විය යුතු බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

මෙහි දී අදහස් දැක් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ, අදක්ෂයින් අතර දක්ෂයින් මතුකර ගැනීම වෙනුවට දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බිහිකිරීමත්, ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බවයි.

ඒ සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල්වල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට හා එක් එක් ක්‍රීඩා පාසල්වල ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවායේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.

දැනට පවත්නා ක්‍රීඩා පනත වෙනුට නව පනතක් ඉදිරියේ දී ගෙන එන බවත්, ඉලක්ක සහ ක්‍රියාකාරකම් මූලික කරගත් සංවර්ධන සැලැස්මකට අනුව මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට ක්‍රීඩා පාසල් හරහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ක්‍රීඩා උපදේශකවරුන් යාවත්කාලීන කිරීම හා පුහුණු කිරීම සඳහා ජාතික සංචිතය හරහා සහාය ලබාදීමට ද ක්‍රීඩා පාසල්වල දැනට පවත්නා නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණුකිරීම, පහසුකම් සහිත ක්‍රීඩා පිටි නොමැති වීම, ක්‍රීඩා පාසලට සිසුන් ඇතුළත් කිරීමේ දී පන්ති කාමර ඉඩ පහසුකම් ප්‍රමාණවත්ව නොපැවතීම වැනි ගැටළු කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කෙරුණා.

ඒ අනුව ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමට්‍ත් දැනට පව්‍ත්නා ක්‍රමවේදය තුළ මතුව ඇති ගැටළු නිරාකරණය වන අයුරින් එම ක්‍රියාවලිය සිදුකිරීමටත් මෙහි දී යෝජනා කෙරුණා.

ඉදිරියේ දී සියලු ක්‍රීඩා පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රීඩා කටයුතු සඳහා ජාතික සංචිතය සම්බන්ධ කරවිය හැකි පරිදි ඩිජිටල් කුටි සෑම ක්‍රීඩා පාසලකම ස්ථාපනය කිරීමට ද පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වෙමින් ක්‍රීඩා පාසල් හරහා මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බවද මෙහි දී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා මේ වනවිටත් ලබාදෙන දායකත්වය ද කෘතවේදී ව අගය කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ක්‍රීඩා පාසල් අතර ජාතික තරගාවලියක් පැවැත්වීම සඳහා ද කටයුතු යොදන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යෝජනා කර සිටියා.