තවත් වසර 80ක් ගත වන විට එනම් 2100 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය දැනට පවතින සංඛ්‍යාවට වඩා අඩකින් පමණ අඩු වන බවට අනාවැකි පළ වී තිබෙනවා.
සාඵලතා අනුපාත (Fertility rates) සම්බන්ධයෙන් ‘The Lancet’සඟරාවේ සමීක්ෂණ වාර්තාව අනුව මෙම අනාවැකිය පළකර තිබෙනවා.
ලෝකයේ රටවල් 195 ක සාඵලතා අනුපාත, මරණ, සංක්‍රමණ සහ ජනගහනයේ ඇති විය හැකි වෙනස්කම් ආදිය සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.
එම වාර්තාවේ දැක්වෙන පරිදි වසර 2100 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 10.45 දක්වා පහළ යනු ඇතැයි අනාවැකි පළ කර ඇත.
2017 වසරේදී මිලියන 21.60ක් ව පැවති ශ්‍රී ලංකාවේ ජනගහනය 2031 වසර වන විට උපරිම ජනගහන සංඛ්‍යාතයට ළඟා වන අතර එය මිලියන 22.34ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
2017 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵලතා අනුපාතය එනම් එක් කාන්තාවක බිහි කර ඇති දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 1.80 කි. කෙසේ වෙතත්, ඉදිරි වසර 80ක කාලය තුළ එය 1.46 දක්වා පහළ යනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.
සෞඛ්‍ය නිර්දේශ අනුව පිළිගැනෙනුයේ සාමාන්‍යයෙන් රටක සාඵලතා අනුපාතය දළ වශයෙන් 2.1 ට අඩු අගයක් ගනී නම් එම රටෙහි ජනගහනය පහළ යාමක් සිදුවන බවයි.
1963 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵලතා අනුපාතය 5.0 ක් වූ අතර 2016 වසර වන විට එම අගය 2.2 දක්වා පහත වැටී තිබේ.
ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, දෙමාපියන්ගේ වෘත්තිය ගැටලු, සමාජයීය ගැටලු ආදී සාධක ගණනාවක් ළදරු උපත් පහළ යාමට බලපාන බව සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.