සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකරන්නේ මගේ අවශ්‍යතාවයකට නොවේ : එල්ල වන චෝදනා වලට යෝෂිත ගෙන් පිළිතුරු

August 24, 2020 at 11:00 AM

සිංහරාජ රක්ෂිතය හරහා සිදුකරනු ලබන මාර්ග ව්‍යාපෘතිය කරනු ලබන්නේ තමාට අයත් හෝටලයකට සම්බන්ධ බවට එල්ල වන චෝදනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ප්‍රතික්ෂේප කර සිටිනවා.

යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයකට ප්‍රතිලාභ සැලසීම සඳහා මතභේදාත්මක මාර්ග ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවට පරිසරවේදී සංජීව චාමිකර පසුගියදා චෝදනා කර සිටියා.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ බොරු චෝදනා එල්ල කිරිම සම්බන්ධයෙන් තමන් පරිසරවේදී සංජිව චාමිකරට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙවැනි චෝදනා එල්ලා කිරිම මගින් ඇතැම් කණ්ඩායම් තමන්ගේ ප්‍රතිරූපයට කැළැලක් ඇති කිරීමට උත්සාහ කරන බවයි යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කර සිටින්නේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම පිළිබඳව පරිසරවේදීන් අවධානය යොමු කර සිටියා.

ඉන් අනතුරුව සිංහරාජ රක්ෂිතය තුළ සිදුවන මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ දී බලධාරින්ටඋපදෙස් ලබා දුන්නේ.

ශ්‍රී ලංකාවේ පාරිසරික හා සොබාදහම පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි සිංහරාජා රක්ෂිතය හරහා නෙලුව – ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දියත් කළ බව මහාමාර්ග අමාත්‍යාංශය පසුව පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.