විදුලිය විසන්ධි වීමේ වැරැද්ද අමාත්‍යාංශයේ නම් මම ඉල්ලා අස්වෙනවා – ඇමති ඩලස් කියයි

August 23, 2020 at 8:38 AM

දිවයින පුරා විදුලි විසන්ධි වීමට විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ නම් තමා සිය අමාත‍‍්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගිය සඳුදා දිවයින පුරා පැය 08කට අ‍‍ධික කාලයක් විදුලිය විසන්ධි වීමක් සිදුවුණා.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවේ මූලික වාර්තාව හෙට (24) ලැබීමට නියමිතයි.

මේ අතර මුළු දිවයිනටම විදුලිය විසන්ධි වීමට හේතුවූ කරුණ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු වැඩසටහනකදී හෙලිකර සිටියා.

එහිදී අතිරේක සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙකුගෙන් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බවයි.