අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ගමන්ගත් බස් රථයක පසුපස පාපුවරුවේ ගමන්ගත් පොලිස් නිලධාරියකු බුත්තල යුද හමුදා කඳවුර ඉදිරිපිට ඇති වංගුවේදී බසයෙන් ඇදවැටී බරපතළ තුවාල ලබා ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ අගමැති ආරක්ෂක කොට්ඨාසයේ විශේෂ රාජකාරි සඳහා කොල්ලුපිටිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව සේවයේ යොදවා තිබෙන ගලගෙදර කුඹුරේගම විසිපස් හැවිරිදි පොලිස් කොස්තාපල් විජේරත්න මුදියන්සේලාගේ ප්‍රියංග බණ්ඩාර විජේරත්න යන අයයි.
අගමැතිවරයාගේ මොනරාගල සංචාරය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා කොල්ලුපිටිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට මොනරාගල දක්වා බසයකින් පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියකු බුත්තල යුද හමුදා කඳවුර ඉදිරිපිට ඇති වංගුව ගනිද්දී බසයේ පසුපස පා පුවරුවෙන් ඇද වැටී අනතුර සිදුව තිබෙන බව පොලිසිය කියයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා බුත්තල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එතැනින් තවදුරටත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ප්‍රවාහනය කළ බස් රථයේ රියැදුරු සැකපිට බුත්තල පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර ඇත.
සැකකාර රියැදුරා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති කොල්ලුපිටිය විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වී තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.