රිෂාඩ් සහ රවීට අධිකරණයෙන් ලබාදුන් නවතම නියෝගය

July 25, 2020 at 2:23 PM

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු අමාත්‍ය රවි කරුණානායක සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය නිකුත් කළ නියෝග සංශෝධනය කරමින් නව නියෝග දෙකක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (24දා) නිකුත් කරනු ලැබුවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු අමාත්‍ය රවි කරුණානායක යන අයගේ නීතිඥයන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝග සංශෝධනය කර සිටියා.

නව නියෝගවලට අනුව පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන සඳුදා (27දා) දින පෙරවරු 9.00ට වවුනියාව ඉරට්ට පෙරියකුලම්හි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදිය යුතු අතර, බැඳුම්කර වංචා සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රවි කරුණානායක ලබන සඳුදා (27දා) දින පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ 1හි පෙනී සිට පස්වරු 1.30 දක්වා ප්‍රකාශ ලබාදිය යුතු වේ.

නව නියෝගයට අනුව සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයන් ලබාගෙන අවසන් වුවද නොවුවද පස්වරු 1.30 දක්වා රැඳී සිට ප්‍රකාශ ලබාදිය යුතු බවට කොටුව මහෙස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයාට නියෝග කෙරුණා.

මීට ඉහතදී අධිකරණය ලබාදුන් නියෝගයන්ට අනුව මෙවර මහ මැතිවරණය සඳහා පැවැත්වෙන මැතිවරණ සහ ඡන්ද කටයුතුවලට බාධා වෙන බවට සඳහන් කරමින් හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

රිෂාඩ් බදියුදීන් යන අයට ලබන සඳුදා (27දා) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ඒකක 3හි පෙනී සිටින ලෙසටත්, රවි කරුණානායක හට එදිනම පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශනය අංශ 1හි පෙනී සිටින ලෙසටත් කොටුව මහෙස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග නිකුත් කර තිබුණා.