කන්දකාඩු කොවිඩ් 19 පොකුර පාලනය කර තිබෙනවා : යුධ හමුදාපති

July 16, 2020 at 10:37 AM

මේ දක්වා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ 533 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධන බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයින් සහ පුනරුත්තාපනය වෙමින් සිටින සියලු දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී අවසන් බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා. එම කඳවුරේ නිවාඩු ගොස් සිටි නිලධාරීන්ගේ ආශ්‍රිතයින් ගේ PCR පරීක්ෂණ සෞඛ්‍ය අංශ විසින් සඳහන් කර සිටින දින වලදී සිදු කිරීමට නියමිතව ඇති බවද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

කන්දකාඩු වෙත පැමිණි අමුත්තන්ගේ පවුල්වල පිරිස් මේ වනවිටත් නිරෝධායනය ලක් කර ඇති බවත් ඔවුන්ගේ ද PCR පරීක්ෂණ සිදු කොට එහි ප්‍රථිපල ලැබීමෙන් පසු සමාජය තුළ ආසාදිත විය හැකි පුද්ගලයින් හෝ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කළ හැකි බව හමුදාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් කන්දකාඩු තත්තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙකු සොයා ගැනුණු අතර ඉන් 8 දෙනෙකුම විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් හඳුනා ගැනුණු අතර අනෙක් පුද්ගලයා වාර්තා වූයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයෙකුගේ, රාජාංගනය ප්‍රදේශයේ ආශ්‍රිතයෙකුයි.