කන්තලේ අග්බෝපුරෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි : ඇසුරු කළ 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ කරයි

July 13, 2020 at 8:49 PM

ත්‍රිකුණාමල කන්තලේ අග්බෝගම ප්‍රදේශයේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවීම නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද දින කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් ජේ.එස්.ඩී.එම්. අසංක අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මේ වන විටත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති අතර තවත් පවුල් 16 ක පුද්ගලයින් 56 දෙනෙක් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

තවද අදාල පුද්ගලයා සමඟ පලමුවන හා දෙවන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 50 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද දින අග්බෝගම සායනික මධ්‍යස්ථානයේ දී සිදු විය.

නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කල පුද්ගලයින්ගේ අත්‍යවශ්‍යය සේවාවන් සැපයීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන ලෙස මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමියට උපදෙස් දුන් අතර එම කර්තව්‍යය සෞඛ්‍ය හා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරමින් සිදුකරන ලෙස දිස්ත්‍රික් ලේකම්තුමා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.

එම පුද්ගලයා ගැවසුණු තැන් සහ ඇසුරු කල පුද්ගලයින් පිළිබඳව තොරතුරු අදාල අංශ විසින් දැනටමත් ලබා ගනිමින් සිටී.

අග්බෝගම ප්‍රදේශයේ ජනතාව අත්‍යවශ්‍යය සේවාවන්ට හැර අනවශ්‍ය ලෙස සංචරණය කිරීම මේ අවස්ථාවේ උචිත නොවන බවත් සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් උපදෙස් පිලිපැදීම මහජනතාවගේ වගකීම බවත් දිස්ත්‍රික් ලේකම්තුමා පවසන ලදී.