බාස්මතී පෙනුමට සමාන බාස්මතී නොවන සහල් වෙළඳ පළේ.

July 11, 2020 at 1:01 PM

පාරිභෝගික අධිකාරියේ නිවේදනය පහත පරිදි වේ.

පසුගිය 22 වැනි දින අධිකාරියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනූව, පිටකොටුව ප්‍රදේශයේ ඇතැම් තොග වෙළෙඳුන් විසින් සුදු (දිග) සහල්, බාස්මති සහල් ලෙස අලෙවි කරන බවට ලැබුණු තොරතුරු මත විදේශ රටවල සිට ලංකාවට තොග වශයෙන් සහල් ආනයනය කළ ආයතන කිහිපයකින් ලබා ගත් බාස්මති ලෙස හඳුන්වන ලද සහල් සාම්පල පරීක්ෂණාගාර වෙත යොමු කළ අතර, ලැබුණු රසායනාගාර වාර්තාවට අනුව පරීක්ෂණ සඳහා යොමු කළ සියලුම සහල් සාම්පල, බාස්මතී නොවන බවට තහවුරු වී ඇත.

ඒ අනූව මෙම වාර්තාව මත පදනම්ව අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

තොග වශයෙන් සහල් ආනයනය කර අලෙවි කරන මෙවැනි පුද්ගයන් හ‌ෝ ආයතනවලින් සහල් මිලදී ගන්නා වෙළෙඳසැල් හිමිකරුවන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. තම වෙළෙඳසැලේ අලෙවි කිරීම සඳහා බාස්මතී සහල් මිලදී ගන්නා විට, ඒවා බාස්මතී සහල් බවට අදාළ තොග අලෙවිකරුවන්ගෙන් තහවුරු කර ගත් පසු මිලදී ගැනීමට විමසිලිමත් වන්න. වෙළෙඳපොලෙන් බාස්මතී සහල් ඇසුරුම් මිලදී ගන්නා විට, ඒම ඇසුරුම්වල පැහැදිලිව පෙනෙන පරිදි බාස්මතී සහල් ලෙස සඳහන් කර තිබේද යන්න පිළිබඳවත්, සහල් ආනයනකරුගේ තොරතුරු පැහැදිලිව සටහන් කර තිබේද යන්න පිළිබඳවත් විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තවදුරටත් ඉල්ලා සිටී.