LTTE සංවිධානයට පණ දෙන්න ගිය 22ක් පොලිස් අත්අඩංගුවට

July 1, 2020 at 11:24 AM

ශ්‍රී ලංකාව තුල අක්‍රීයව පවතින එල්ටීටීඊ සංවිධානය යලි පණ ගැන්වීමට උත්සාහ කිරීමේ චෝදනාව මත පසුගිය සති කිහිපය තුළ පොලීසිය විසින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද පැමිණිලි මත පදනම්ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ (එච්ආර්සීඑස්එල්) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව අනාවරණය කර තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර 17 හැවිරිදි දරුවෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

රඳවාගෙන සිටින දරුවාගේ පවුලේ අය ඔහුගේ උප්පැන්න සහතිකය කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරමින් සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබේ.

පසුගිය සතියේ පමණක් මෙවැනිම චෝදනා මත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරියා සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.