ජුනි මස 06 වෙනිදා සිට ඊයේ (30) දිනය දක්වා වූ දින 24 ක කාලය තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 46,518 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් ගෙන් 10,968ක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්. හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 6,140 ක් වනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ 8 යි ග‍්‍රෑම් 413 ක් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ. ගංජා කිලෝග‍්‍රෑම් 295 ක් සමග සැකකරුවන් 4,413 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් වැරදි සදහා තවත් සැකකරුවන් 17,275 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් ගණන 9,077 ක්. නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 9,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.
ටී 56 ගිනි අවි 11 ක්, ටී 81 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ සහ ගල් කටස් වර්ගයේ ගිනි අවි 26 බැගින් ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති සජීව පතුරම් සංඛ්‍යාව 578 ක්. රිපීටර් වර්ගයේ ගිනි අවි 46 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාළ කාලය තුළ සැකකරුවන් 89 දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 367 ක්, ඩෙටනේටර් 23 ක්, අත්බෝම්බ 13 ක් සමග සැකකරුවන් දස දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුනි 6 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා මෙම වැටලීම් සිදු කෙරුණා.