ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක් සිදුකළ බදුල්ලේ ක්‍රිකට් තරගාවලිය

July 1, 2020 at 9:17 PM

බදුල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බව කියන ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් සැක මතුවී තිබෙනවා.

ඉන්දීය වෙබ් අඩවි විසින් සඳහන් කර තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව කියන “UVA T-20 ප්‍රිමියර් ලීග්” තරගාවලිය ජුනි මස 29 වෙනිදා සිට ජූලි 05 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි.

වැල්ලවාය වයිපර්ස්, මොණරාගල හොනට්ස්, බදුල්ල සී ඊගල්ස් සහ මහියංගණය යුනිලයන්ස් නමින් මෙම තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් 04 නම් කොට ඇත.

තිලකරත්න ඩිල්ශාන්, ෆර්වේස් මහරූෆ්, අජන්ත මෙන්ඩිස් සහ තිලින තුෂාරා යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම කණ්ඩායම් 04 නායකත්වය දරන බවයි එම වෙබ් අඩවි වල සඳහන්ව ඇත්තේ.

කෙසේ වුවත් බදුල්ල ක්‍රීඩාංගනයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ එවැනි කිසිදු ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩාංගනයේ නොපැවැත්වෙන බවයි.

ඌව පළාත් ක්‍රිකට් සංගමයේ උප සභාපති ගයාන් ඔවිට්ගල සඳහන් කළේ එවැනි ක්‍රිකට් තරගාවලියක් නොපැවැත් වෙන බවයි. එමෙන්ම එය සම්පුර්ණයෙන්ම සාවද්‍ය ප්‍රවෘත්තියක් බවටද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඌව පළාත් ක්‍රිකට් සංගමය මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සුදානම් වන බවටද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාවේ ඇතුළු වෙනත් රටවල බුකීකරුවන් විසින් එක්ව මෙවැනි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන බවට හඟවමින් යම් අකටයුත්තක් සිදුකරනවාද යන්න සම්බන්ධයෙන් සැක මතුවී තිබෙනවා.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් කියා සිටින්නේ මෙවැනි තරගාවලියක් ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයට දැනුම් දී තිබෙනවා.