අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනාට අයත්ව තිබු වාහන 4 ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ එම වාහන යොදා ගනිමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට හෙළි වීමත් සමගයි.
වාහන අතරට, වෑන් රථ දෙකක්, ජීප් රථයක් සහ මෝටර් රථයක් අයත් වන බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ සැකකාර නිලධාරීන් සතුව තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන මැගසින් එකක් ද සිය භාරයට ගත් බවයි.
දැනට සැකකරුවන් සතුව තිබු රුපියල් තුන්කෝටි එකලොස් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් ද, සොයා ගෙන ඇති අතර, තවත් රුපියල් ලක්ෂයක මුදලක් කරන්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කර සිටියි.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ සේවය ද අත්හිටුවා ඇති බවත් මේ වන විට ඔවුන්ව රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කූඨ ලෙස විකුණා ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.