ETI සහ ද ෆිනෑන්ස් මුල්‍ය සමාගම්වල දේපළ පවරා ගෙන තැන්පතුකරුවන් මුදල් ගෙවන්න : ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයින්ටත් ජනපති ගෙන් රතු එළියක් 

June 29, 2020 at 5:39 PM

අර්බුදයට ගොස් ඇති ETI මුල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට අද උපදෙස් ලබා දෙනු ලැබුවා. එම මුල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ සඳහන් කර සිටියාය.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු බවයි මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේ.

ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇති බවත් මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කරනු ලබයි. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත්කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද  සාධාරණය ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේ.

මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මෙහිදී සහතික විය. මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ETI සහද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව පැවසූ ජනාධිපතිවරයා මුල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියාකරන බවටද අවධාරණය කර සිටියා.