“එයා තොත්ත බබාද” ? කොමිසම වටලන්න එකතු වෙන්නැයි විමල් විරවංශ ජනතාව ගෙන් ඉල්ලයි

June 28, 2020 at 11:19 AM

මැතිවරණ කොමිෂන් සභාව වටකොට ඊට එරෙහිව විරෝධය දක්වන්නැයි මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අමාත්‍ය විමල් විරවංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විපක්ෂයට සහය දක්වමින් ක්‍රියා කරන බවයි මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා චෝදනා කර සිටියේ.

මෙහිදී අදහස් දක්වමින් විමල් විරවංශ අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විපක්ෂයට සහය දක්වමින් රට හමුවේ දක්ෂ රංගනයක යෙදී සිටින බවයි.

” මහින්ද දේශප්‍රිය මහත්තයා ජෝ අබේවික්‍රමට වඩා හොඳ රඟපෑමක් කරනවා” ඇමතිවරයා කියා සිටියා.

” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියනවා අතීතයේ වුන වැරැද්ද ආපහු වෙන්න දෙන්න අවශ්‍ය නැහැ කියලා.

මීට පෙර මැතිවරණ වලදී අපේක්ෂකයින්ට ඔවුන්ගේ මනාප අංකය සිය මැතිවරණ කාර්යාල ඉදිරිපිට ප්‍රදර්ශණය කිරිමට අවසර හිමිවුණා. නමුත් මේපාර මැතිවරණයේදී ඒකට අවසරය හිමිවන්නේ නැහැ.

එතකොට මහින්ද දේශප්‍රිය තොත්ත බබාද ? දැන්ද මහින්ද දේශප්‍රිය වැඩිහිටියෙක් වගේ හිතන්න පටන් අරන් තියෙන්නේ?

ඇත්ත කතාව විපක්ෂය දැන් කෑලි කෑලිවලට කැඩිලා. ඔය අර්බුධය නිසා ඔවුන්ට රටේ මැතිවරණ කාර්යාල පිහිටුවා ගන්නවත් කාර්යාලයක් නැහැ. විරුද්ධ පක්ෂයට පණ නැති නිසා පණ නැති විරුද්ධ පක්ෂයට ඕන විදිහටයි මැතිවරණයේ වැඩ වෙන්නේ.

මහින්ද දේශප්‍රිය දන්නවා දිනන්නේ පොහොට්ටුව කියලා. ඔවුන්ට ඕන ජන්ද දායකයා කතිරේ ගහනකොට මොකක් හරි වැරැද්දක් කරලා පොහොට්ටුවට වැටෙන ජන්ද අවලංගු කරන්න. ඒකයි ඔය තුන් කට්ටුවේ වැඩපිලිවල.

මේ රටේ පරමාධිපත්‍ය හිමි රටේ ජනතාව ඔය කොමිසම වටලලා හරි ඔය තක්කඩි ස්ථාවරය පරදවන්න ඕන” යැයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කීයා සිටියා.