පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු වල සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලිම සඳහා හැකි ඉක්මනින් කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ ලංකා බැංකු සේවක සංගමය සමඟ ඊයේ(26) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
රාජ්‍ය බැංකු මගින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳ සහ සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බලා කොමිසමක් පත් කර අදාළ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
මේ අතර, රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් පිළිබඳව වූ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ ගැටලූ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කමිටුවක් හරහා ඉක්මනින් විසඳුම් දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, 2019 වර්ෂයට අදාළ මෙතෙක් ලබා දුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, එම දිරි දීමනා ද ලබාදීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
රාජ්‍ය බැංකුවල ඉහළ කළමනාකාරිත්වයේ පරිපාලන ගැටලූ සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද මැදිහත්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.