බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (25) රාත්‍රී ආහාරවේල ප්‍රතික්ෂේප කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ එලෙස ආහාර වර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.
වෙන – වෙනම සිර මැදිරිවල රඳවා සිටින එම රැඳවියන් ආහාර වර්ජනය ආරම්භ කර ඇත්තේ තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින්.
දිනපතා අවස්ථා දෙකකදී පැය බැගින් පැය 02 ක කාලයක් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා.
ඔවුන් පිටතට ගනු ලබන්නේ ද අනෙකුත් රැඳවියන්ට එකිනෙකා මුණ නොගැසෙන ආකාරයටයි. එලෙස සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය තවත් වැඩි කරන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර ප්‍රධානීන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැහැ. කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප්‍රබල ගණයේ අපරාධකරුවන් අදාළ සිරමැදිරිවල රඳවා සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිය ගැටලූ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ද එම රැඳවියන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවට බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු ඔවුන් සමග සාකච්ඡා කිරීම සඳහා අද දහවල් බූස්ස බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොස්ගොඩ තාරක, සහ පොඩි ලැසී යන අපරාධකරුවන් එම ආහාර වර්ජනය මෙහෙයවන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.