කරුණා අම්මාන්ට තවත් ලෙඩක් : ළමා සොල්දාදුවන් බඳවා ගත්තාට එරෙහිව විමර්ශන කරන්න – එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම

June 26, 2020 at 11:37 AM

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිවේදනය කර සිටිනවා.

ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ක්‍රියාවක් ඔහු විසින් සිදුකර ඇති බව පවසන එම කොමිසම තොග පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණා අම්මාන්ට එරෙහිව විමර්ශන කළ යුතු බවයි ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ.

” එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් මෙන්ම රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවී තිබෙනවා.

ඔහු විසින් අතීතයේ සිදුකළ යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකෙරෙන් එම පරීක්ෂණයන්ට අදාළව ඔහු විසින් තොග වශයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.

වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු යැයි” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව සිය ට්විටර් සටහනේ සඳහන් කර සිටිනවා.