හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ලෙසට කටයුතු කරන සුදත් අස්මඩලට එරෙහිව වෙන වෙනම මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන්කොට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.
අද දින මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැදවනු ලැබුවා.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇත.
රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා එම රථය පැදවූ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදී සාක්ෂිකරුවන්ගේ කටඋත්තර සටහන් කර ගැනීමේදී හිටපු අමාත්‍යවරයාගේ නම ඉවත් කොට ඒ වෙනුවට ඔහුගේ රියදුරුගේ නම ඇතුළත් කරන ලෙස හිටපු ස්ථානාධිපතිවරයා විසින් වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් සිදුකර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි.