පසුගිය ජනාධිපතිවරණයේදී කැලණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජන්ද 16,147 කින් පරාජයට පත්වුයේ එම ආසනයට නායකත්වය ලබා දුන් ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසාවෙන්දැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන් විමසා සිටිනවා.
මංගල සමරවීර හිටපු ඇමතිවරයා මේ බව විමසා සිටියේ පසුගියදා තමන් අරඹයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මෙවර මහ මැතිවරණ සටනින් ඉවත්වීම සමගී ජනබල වේගයට සැඟවී ආ ආශිර්වාදයක් බවට එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රකාශයක් සිදුකළා.
එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
” හිතවත් සරත්,
ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි. ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.
වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි. මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.
නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි. අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.
ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි”.