කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ.
මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පවත්වා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවෙල ඇතුළු ඉහළ නිළධාරීහු පිරිසක් මෙම පෙරහුරුව සදහා එක්ව සිටියා.
කාරක සභා නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගිවීමට මෙමගින් අවස්ථාව හිමිවේ. පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හිදී පවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සම්බන්ධ වීමට හැකිවන පරිදි තාක්ෂණික කටයුතු සකස් කිරීමට සැලසුම් කරමින් තිබේ.
තවද පාර්ලිමේන්තුව සතුව මේවන විට කාරක සභා කාමර 8ක් පමණක් ඇති බැවින් පාර්ලිමේන්තු දිනයන්හිදී ඇතිවන ඉඩකඩ ගැටලුව සදහා ඇතිවන තදබදය මෙන්ම කාලය සහ වියදම අවම කරගැනීමට ඇති හැකියාව හේතුවෙන් කොවිඩ් වසංගත කාලයට සීමා නොවී ඉදිරියටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නා.
මේ අනුව නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූ විට මේ සම්බන්ධව යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව මහලේකම් ධම්මික දසනායක වැඩිදුරටත් සඳහන් කර සිටියා.