ඥාණසාර හිමියන් ගොනු කළ පෙත්සම් 04ක් අධිකරණයෙන් විසි කරයි

June 22, 2020 at 4:22 PM

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කොළඹ , කළුතර , මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සඳහා තරග කිරීමට තම නායකත්වයෙන් යුතු “අපේ ජන බල පක්ෂයේ ” අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කරනු ලැබුවා.

මෙම රිට් පෙත්සම් හතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණ යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මැතිවරණ පනත 19 වගන්තියට අනුකූලව අදාළ දිස්ත්‍රික් වල තේරීම් බාර නිලධාරීන් කටයුතු කර ඇති බවත් , නාමයෝජනා බාර දුන් අවස්ථාවේදීම විරෝධතා දැක්වීමට හැකියාව පෙත්සම්කරුවන්ට පැවති බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරුන් දන්වා සිටියා.

මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය ,එහි සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.