සියදිවි නසා ගනිමින් ජිවිතක්ෂයට පත්වූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණයට ආධාර අනුබල දුන් බව පවසමින් ඔහුගේ පෙම්වතිය වන රංගන ශිල්පිනි රේහා චක්‍රබෝර්තිට එරෙහිව අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
රේහා සහ සුෂාන්ත් අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවට රාවයක් පැතිරුණා.
පට්ටාහි පදිංචි කුන්දන් කුමාර් නම් පුද්ගලයෙක් විසින් රේහා චක්‍රබෝර්තිට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ උතුරු බිහාර් හි පිහිටි මුසාෆාර්පුර් අධිකරණය හමුවේ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
එම පෙත්සම ජුනි මස 24 වෙනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.
මේ අතර සුෂාන්ත් ගේ මරණය සම්බන්ධයෙන් සුපිරි නළු සල්මාන් ඛාන්, ආදිත්‍ය චොප්රා, කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලි සහ ඒක්තා කපුර්ට එරෙහිව නීතිඥවරයෙක් විසින් ඉහත උසාවිදීම පෙත්සමක් ගොනු කර සිටියා.
මෙම නීතිඥවරයා සිය පෙත්සමේ දක්වා තිබුණේ බොලිවුඩයේ මෙම සුපිරි නළුවා ඇතුළු චිත්‍රපට නිශ්පාදකවරුන් එක්ව සුෂාන්ත් ගේ සිනමා වෘත්තීය නැවැත්වීමට උත්සහ දැරූ බවයි.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව දැඩි විරෝධතාවයක් මතුවී ඇති අවස්ථාවේදී සල්මාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් සිය රසිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ සුෂාන්ත් ගේ පවුලේ ඥාතීන්ට සහ ඔවුන්ගේ රසිකයින්ට සහය දෙන ලෙසයි. එමෙන්ම ඔවුන්ට බැන වැදීමට හෝ ශාප නොකරන ලෙසද සල්මාන් සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.