නිදහස් චතුරශ්‍රයේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන රනිල් ප්‍රශ්නයක් මතු කරයි

June 21, 2020 at 8:19 PM

කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පසුගියදා මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා ස්වෙච්ජාවෙන් සියදිවි නසා ගත්තාද නැත්නම් බලෙන් සිදුවූ සියදිවි නසා ගැනීමක්ද යන්න ගැන ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.

හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) ජනාධිපති නීතිඥයන් හා නීතීඥවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමු වූ අවස්ථාවේදී.

එහිදී හිටපු අගමැතිවරයා සඳහන් කළේ 2015 දී විවිධ බාධක මැද රැගෙන ආ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය අද වන විට ආරක්ෂා වී ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම තුළින් මැතිවරණය ස්වාධීනව කරගෙන යෑමට නියෝග ලබා දීමේ හැකියාව එම නිලධාරීන්ට ලැබී ඇති බවත් පොලිස් කොමිසම ඇති කිරිම තුළින් පොලීසිය දේශපාලනකරණය නො වූ නිසාවෙන් දේශපාලන අවශ්‍යතාවයන්ට අනුකූලව යහපාලන කාලවකවානුවේදීද නිලධාරීන් මාරු කිරීම සිදු නොවුනු බැවින් පොලිසියට හොඳට වැඩ කරගෙන යාමට හැකියාව ලැබුණු බව ඔහු ප්‍රකාශ කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු වූ දින හවස් වරුවේ දීම එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබුණු බවයි .

රාජ්‍ය සේවා කොමිසම පිහිටුවීම තුළින් දේශපාලන බලපෑම් වලින් රාජ්‍ය සේවකයා ආරක්ෂා කළ බවත් අද වන විට මේවා නැති කිරීම සඳහා පොහොට්ටුවෙන් විශාල බලපෑමක් සිදු වන බවද හිටපු අගමැතිවරයා ප්‍රකාශ කරන ලදී.

“ඡන්දය තමන්ට අවශ්‍ය දිනවල දී තමන්ට අවශ්‍ය විදිහට පවත්වා ගැනීම සඳහා අද වන විට පොහොට්ටුවේ අය මැතිවරණ කොමිසමේ සභාපතිටත් අනෙකුත් සාමාජිකයන්ටත් විශාල බලපෑමක් කරනවා. ප්‍රසිද්ධියේ ඔවුන් සඳහා බැන වදිනවා.හූල් මහත්මයාටත් සභාපතිතුමන්ටත් බොරු චෝදනා නගනවා. ක්‍රමානුකූලව මෙම කොමිසමේ ස්වාධීනත්වය නැති කිරීමට උත්සාහ දරනව.

මේ වන විට පොලිස් කොමිසම නැති කරමින් පොලිස් අද නිලධාරීන් රැසක් මාරු කර තිබෙනවා. අද වන විට පොලිස් නිලධාරින් යටකරමින් හමුදා නිළධාරීන් පත් කොට තිබෙනවා. මේ දේශපාලනීය කරනය නිසා පොලිසියට වැඩ කරන්න බැරි වී තිබෙනවා.

කවදාවත් නොදැකපු විදිහට නිදහස් චතුරස්‍රය අභියස මළසිරුරක් දකිනවා. නීතිඥවරු පවසන්නේ එම සිදු වීම සිය දිවි නසා ගැනීමක් ලෙස පිළිගන්නා නමුත් එය ස්වෙච්ඡාවෙන් සිදුකළ සියදිවි නසා ගැනීමක් ද නැතිනම් බලෙන් සිදු වූ සියදිවි නසා ගැනීමක්ද යන්න ප්‍රශ්න සහගත බවකින් යුක්ත බවයි.”

පොලිසියටසිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් නිසා තවමත් මෙය සොයා ගැනීමට නො හැකි වී තිබෙන බවයි හිටපු අගමැතිවරයා සඳහන් කර සිටියේ.

අද රාජ්‍යය සේවා කොමිසම නිසා සිදුවී ඇති දෙය පිළිබඳව අදහස් දක්වමින් එතුමන් සඳහන් කළේ, අද රාජ්‍යය නිධාරීන් මාරු කිරීමට නොහැකි වූ කළ හමුදා නිලධාරීන් ආයතන ප්‍රධානීන් ලෙස පත් කිරීමට කටයුතු කරන බවයි.

මෙරට රණවිරුවන් යුද්ධ කිරීම සඳහා ලෝකය සිටින අති දක්ෂතම කණ්ඩායමක් වන බවත් පරිපාලන නිලධාරීන් යුද්ධ කිරීමට දක්ෂ නොවන බවත් පරිපාලන කටයුතු සඳහා ඉතා දක්ෂ බවත් එම කටයුත්ත රණවිරුවන්ට කළ නොහැකි බවත් මෙහි දී ඔහු සඳහන් කරන ලදී.

අපගේ දක්ෂ හමුදාව එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා දායක කිරීම සිදු කළ යුතු බවත් තමන් අග්‍රමාත්‍යධූරය දරන කාලයේ දී එසේ සිදු කළ බව සඳහන් කර සිටියා.

රාජ්‍ය සේවකයන්ගේ නිදහස ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් බවත්,දින පනස් දෙකේ ආණ්ඩු පෙරලියේදී රතිඤ්ඤා පත්තු කරපු රාජ්‍ය නිලධාරීන් සිටියත් ඔවුන්ට කිසිදු බලපෑමක් නොකළ බවත් රාජ්‍ය නිලධාරින් ගේ නිදහස ආරක්ෂා කිරීමට උපරිම කටයුතු කළ බවත් සඳහන් කර සිටියා.

ඡන්දය ලබා දුනහොත් මේ නිදහස් වාතාවරණය නැති වී යන බවත් ඒකාධිපති පාලනයක් සඳහා නැවත යා හැකි බවත් එබැවින් එළැඹෙන අගෝස්තු පස්වෙනිදා එක්සත් ජාතික ක්ෂය බලයට පත් කිරීමට ජනතා ව කටයුතු කළ යුතු බව කියා සිටියා.