ගිනි අවි 56ක් : සැකකරුවන් 25,000ක් පොලිස් අත්අඩංගුවට

June 21, 2020 at 11:56 AM

ගිනි අවි 56ක්, පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවන් විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා. ඒ පසුගිය ජුනි මස 06 වෙනිදා සිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඊයේ රාත්‍රී 12 දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.

දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 05 කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 217ක් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 760 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඊට අමතරව බොර 12 ගිනි අවි 18ක්, පිස්තෝල අවි 01, ගල්කටස් 24ක්, රිපිටර් අවි 18ක්, වෙනත් අවි 05ක්, සජීවී පතොරම් 36ක්, පිහියක් සහ කඩු 03 ක් සමග සැකකරුවන් 52ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක්, ඩෙටනේටර් 23ක්, අත් බෝම්බ 07ක් සමගින් සැකකරුවන් 06 දෙනෙකුද පොලිසිය විසින් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව නීතිවිරෝධී මත්පැන් ලීටර් 179,782ක් සමගින් සැකකරුවන් 5,574ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණ වරෙන්තු මත සිටි පුද්ගලයින් 5,110ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 8,750ක් මෙම දින 14 ක කාලය තුලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.