එළඹෙන මහ මැතිවරණය සදහා සමගි ජන බලවේගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කරන අබේරත්න හේරත් මුදියන්සේලාගේ ටිකිරි සම්පත් බණ්ඩාර (ටිකිරි) ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මැතිවරණ නීති උල්ලංඝණය වන අයුරින් හොර රහසේ කල්පිටිය කන්දකුලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදීය.
ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථයක් ඇතුළුව පොස්ටර් තොගයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියා සිටියේය.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකරනු ඇති අතර එම අවස්ථාවේදී අදාල සුඛෝපභෝගි ජීප් රථයේ පෝස්ටර් 4000ට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තිබී හමුවී තිබේ.
පසුව පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අදාළ මැතිවරණ පත්‍රිකා තොගය ප්‍රදේශය පුරා ප්‍රදර්ශණය කිරීම හා ජනතාව අතර බෙදා දීම සදහා රැගෙනවිත් තිබූ බවයි.
අදාල පත්‍රිකා මුද්‍රණය කල මුද්‍රණාලයේ නම සදහන්ව තිබුණද, ප්‍රකාශන අයිතිය තහවුරු නොවීමත්, මැතිවරණ නීතිය උල්ලංඝණය වන අයුරින් ඒවා ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහය හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටියි.
මොවුන් අද (19) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.