තැපෑල අලි අමාරුවක : අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ භාණ්ඩ 42000ක හිමිකරු ලිපිනයන් මැකිලා

June 18, 2020 at 5:32 PM

මැලේසියාවේ සිට මෙරටට ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට නියමිතව තිබු පාර්සල් තොගයක් නැව් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවීමෙන් එම පාර්සල් වල අයිතිකරුවන්ට බෙදා දීමේ ගැටළු සහගත තත්ත්වයක් පැන නැගී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මෙරට පාරිභෝගිකයින් වෙබ් අඩවි හරහා ඇණවුම් කරන ලද කුඩා පාර්සල් 45000 කට ආසන්න ප්‍රමාණයක් සහිත කන්ටේනර බහාලුමක් මිට දින කිහිපයකට පෙර මැලේසියානු තැපැල් පරිපාලනය විසින් මෙරටට එවා තිබු බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම භාණ්ඩ ඇතුලත් පාර්සල් කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමට පෙර මැලේසියානු තැපැල් සේවය වෙත භාරදී ඇති නමුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් මැයි මස අගදී නැව් මාර්ගයෙන් මෙරට තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇත.

මාස 03 කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන් වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදා ගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතා හේතුවෙන් අදාළ භාණ්ඩ ලැබිය යුතු හිමිකරුවන්ගේ ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනා ගත හැකිව තිබු පාර්සල් 5000 කට ආසන්න ප්‍රමාණයක්‌ අදාළ හිමිකරුවන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවත් ඉතිරි භාණ්ඩ බෙදා හැරීම සඳහා එහි අඩංගු බා(ර්) කෝඩ් අංක උපයෝගී කර ගනිමින් අදාළ හිමිකරුවන්ගේ ලිපිනයන් ලබා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත දැනුම් දී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කර සිටියේ.

යම් හෙයකින් මැලේසියානු තැපැල් පරිපාලනය අදාළ ලිපිනයන් ලබා දීමට අපොහොසත් වුවහොත් භාණ්ඩ තොගය ඇතුලත් කන්ටේනර් බහාලුම මැලේසියාව වෙත යොමු කොට අදාළ හිමිකරුවන්ගේ නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබා ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරන බවයි තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ.

ඇතැම් භාණ්ඩ තවමත් මෙරටට ලැබී නොමැති බවත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එම භාණ්ඩ අදාළ ගුවන් සමාගම්හි රැඳී ඇති බව තැපැල්පතිවරයා පෙන්වා දෙනවා.